If you unable to view Click Following Links to Enable SINHALA
03. Click Here to pdf Version (Sinhala)
(some time Computer should be re-start after install above software to enable SINHALA)
(2008 අප්‍රේල් මස 01 වැනිදා මිය ගිය ආදරණීය සීයා වෙනුවෙන් තැබූ සටහනකි)
මේ සටහන තබන මොහොත වන විටත් නුඹ අප අතහැර ගොස් බොහෝ දුරය. පණ නල රහිත දේහය පමණක් සාලය මත වැතිර ඇත. එයද තව පැය කිහිපයකින් නික්ම යනු ඇත. එවිට මා ආදරය කළ, මට ආදරය කළ මගේ ආදරණීය සීයා සංසාරයේ යළි කෙදිනකවත් මගේ ඇස නොගැටෙනු ඇත.
මේ සටහන තබන මොහොත වන විටත් නුඹ අප අතහැර ගොස් බොහෝ දුරය. පණ නල රහිත දේහය පමණක් සාලය මත වැතිර ඇත. එයද තව පැය කිහිපයකින් නික්ම යනු ඇත. එවිට මා ආදරය කළ, මට ආදරය කළ මගේ ආදරණීය සීයා සංසාරයේ යළි කෙදිනකවත් මගේ ඇස නොගැටෙනු ඇත.
බක් මස පළමුවැනිදාවේ මිතුරකුට ලණුවක් දී සතුටු වන්නට සිතා මම පිබිදුනෙමි. එහෙත් මටත් පෙර නිවසේ දුරකථනය නාද විය. එහා කෙළවර සිටියේ තාත්තාය.
“ඊයෙ රෑ සීයා නැති වුණා.....”
මම මමම කොණිත්තා ගතිමි. ඒත් වැඩක් නැත. මට මේ ඇසෙන්නේ සැබෑවක්මය.
තම පවුලට කොළුවකු නැති කමට ලොකු දුවට දාව උපන් පළමු පිරිමි ළමයා ලෙස මට නුඹ දුන්නේ නුඹේම පුතකුට දෙන්නට පරිස්සම් කළ තිබූ ආදරයයි. මට මගේ ජීවිතයේ මතක ඇති කාලය ඇරඹෙන්නේ නුඹේ වහල යටිනි. පුංචි සංදියේ මට තිබුනේ අම්ම -තාත්තා ගෙනත් දුන් සෙල්ලම් බඩු වලට වඩා නුඹ ගෙනත් දුන් සෙල්ලම් බඩුය. වාහනයක් තබා බයිසිකලයක්වත් පදින්නට නොදත් නුඹ මා දකින්නට සැතපුම් ගණන් පා ගමනින්ම ගෙවූ දුර එකතු කළේ නම් ලංකාව වටා රවුම් දෙක තුනක් පයින් යන්නට තිබුණි. ඒ ආදරයද නැතහොත් නොදැක ඉන්න බැරිකමදැයි මම තවමත් නොදනිමි. එක්කෝ ඒ දෙකම විය යුතුය.
යන්තම් අත්සන තබනු මිස ඉන් එහා මලපොතේ අකුරක් වත් නොදත් නුඹේ සුළැගිල්ලේ එල්ලී පොත්වල නොමැති බොහෝදේ ජීවිතය පිළිබදව මම උගත්තෙමි. ඒ පිළිබදව නම් මම සදාකාලිකව නුඹට ණය ගැතිය.
90-92 වකවානුවේ නුඹ රෝගීව ඔත්පලව හුන් සඳ කරාපිටිය රෝහලේදී මගේ සුරත නුඹේ දෑත් අතර හිරකරගෙන පොඩි එකෙකු මෙන් ඉකිබිඳි අයුරු මේ මොහොතේත් මට කදුළු අතරින් මැවී පෙනේ. ඒ නුඹේ ආයුෂ අවසන්යැයි නුඹ තුළ හටගත් අනියත බිය නිසා විය යුතුය. ඒත් අපි එතරම් පවු කර තිබුනේ නැත. වතුපිටි වල වැඩ කරගැනීමට නොහැකී වූ තරම් ඔත්පල වූ පසුවද නිවසේ පිටුපස බුලත් කොරටුවේ බුලත් ටික කඩා විකුණා එකතු කරගත් මුදල් මා නිවාඩුවට ගෙදර එනතුරු සිට කාටත් හොරා මගේ අතමිට මොළවන්නේ “ හොදට ඉගෙන ගන්න ඕන....” කියමිනි. ඒ නුඹ නූගත් අකුරු සාස්තරේ වටිනාකම නුඹ දැන සිටි නිසා විය යුතුය. මම නුඹේ ඉලක්කය ජය ගතිමි. නුඹ එයින් සැනසුන වගද මම දනිමි.
ලියන්නට නම් තව බොහෝ දේ ඇත. ඒත් ඉකිබිඳින පපුවත්, වෙවුලන දෑතත් ඒ සියල්ල වළකාලයි. පොඩි එකකු තුළ ඇති හිතුවක්කාරකමක් තිබූ ඔබ ප්‍රගුණකර තිබූ ඉවසීම නම් කෙදිනකවත් මට ප්‍රගුණකළ හැකි නොවනු ඇත. තමන් සන්තක සියල්ල සොරුගෙන යද්දී උපේක්ෂාවෙන් ඒ දෙස බැළු තවත් පිරිමියකු වේ නම් ඒ කළාතුරකිනි. අතේ ලේ බොන මදුරුවා පවා නොමරා අත්හරින්නට පුරුදු වූ නුඹ, මා අවුරුදු 5ක තරම් කාලයේදී කඩියකු මරන්නට යද්දී මහත් වෙර යොදා නුඹ ඌ බෙරා යැවූ අයුරු දැක මම මවිත වීමි. එහෙත් සංසාරය පුරාවට නුඹ පුහුණුකළ අසාමාන්‍ය පුරුදු අතර එය තවත් එකක් පමණි.
නුඹ අද නික්ම යන්නේ පුවත් පතක හෝ රූපවාහිනියේ දුක්මුසු පුවතක් දකිද්දී සියල්ලට හොරා කඳුළු පිසිනා අතිශය සංවේදී සිත මා ළග ඉතිරි කරමිනි. ඒ සිත නුඹ පිළිබඳව වූ අතිශය ආදරණීය මතකය යළි යළිත් අවදි කරනු ඇත.
කිසිවකුටත් කරදරයක් නොවූ, මට මතක ඇති දා පටන් පිං පමණක්ම කළ “කහදුවේ මාමා” නොහොත් මෙග් ආදරණීය සීයා, මනු ලොවට වඩා පිං ඇති ලොවක මිස මිනිසත් භවයක් යළි උපදීදැයි සැක සහිතය. එහෙත් එසේවනු රිසිව, තව තවත් පිං කරනට යළිඳු නුඹ මිනිසත් භවයක උපදී නම් නුඹටම මුණුපුරකු වන්නට මම පිං කරමි.
මගේ ආදරණීය සීයේ.... නුඹට ආයුබෝවන්....!
පසුවදන:
මගේ පුංචිකාලයේ අනේකවාරයක් මා කරමත තබා හුරතල් කළ ඔහුගේ නිසල දේහය මගේ කරමත ගෙනයන්නට තරම් දෛවය මට සරදම් කර තිබුණි. එය මා කරතැබූ ප්‍රථම “මිනී පෙට්ටිය” වීම .....................................???
